එම්බා වලාවෙනි ! කැමති නම් වසිනු මැන.....

10 October, 2011

ධනිය, විශාල ගව පට්ටියක් හිමි ගොපලු තරුණයෙකි. සිය අඹු දරුවන් ද සමඟ ගවයින්ට ආහාර ඇති තැන් සොයා යමින්, එවන් තණ බිමක් හමු වූ විට තාවකාලික නිවෙස් තනාගෙන එහි කලක් නතර වී සිටීම ඔහුගේ සිරිත විය. එදා ඔහුගේ නවාතැන වූයේ මහී නම් ගඟ අසබඩ වූ තණ බිමකි. සවස් වන විට අහස අඳුරු වී වැසි වැටෙන ලකුණු පහල විය.  වැහි වලාකුළු අහස්කුස නැංවෙන අයුරු බලාසිටි හේ ප්‍රීතියට පත් විය. මහා වැසි වසින්න යයි වලාවන්ට හඩ නගා කියන්නට විය.

සැවැත් නුවර දෙවුරම් වෙහෙරේ වැඩ සිටි බාග්‍යවතුන් වාන්සේ බොහෝ දුර සිට මේ පිරිස දුටු සේක. තමන් වහන්සේ නොවැඬිය හොත්  මහා රෑ වසින වැස්සෙන් ගග උතුරා ගලා ගොස් නැගෙන බයානක ගං වතුරකට මේ සියලු දෙනා ගොදුරු වන බව දුටු සේක.

මේ ජල ගැල්මෙන් පමණක් නොව සංසාර මහා ගං වතුරෙන්ද මේ පිරිස බේරාගැනීමට සිතු මහා කාරුණිකයාණෝ ඉර්ධි බලයෙන් වහා එතනට වැඩම කොට පිළිතුරු ගාථාවක් කියන්නට විය. තමාට පිළිතුරු ලෙස ඇසුණු සිව් පදය ධනිය තුල ඇති කලේ ප්‍රශ්නාර්ථයකි. එහෙයින් ඔහු තවත් සිව් පදයක් ගායනා කලේය. බුදුපියාණන් වහන්සේද එබඳුම සිව් පැදියකින් එයට පිළිතුරු එක් කල සේක. මෙලෙස මනහර කවි සංවාදයක් ගොඩ නැගුනි.

ධනිය:
බතද පිසුවෙමි – කිරිද දෙව්වෙමි
මහී ගං තෙර මම – වසමි හැම දෙන සමඟ
සෙවණ කල කුටිය තුල – ඇවිල වූ ගිනි ද ඇත
එම්බා වලාවෙනි!
කැමති නම් වසිනු මැන.

බුදු පියාණන් වහන්සේ :
ක්‍රෝධය නසා දැමුවෙමි – කෙලෙස් ටැඹ ගැලවූයෙමි
මහී ගං තෙර මම – වසමි හුදෙකලාවෙම  …
විවර කල කුටිය තුල – නිවන ලද ගිනි ද ඇත
එම්බා වලාවෙනි!
කැමති නම් වසිනු මැන.

ධනිය:
ලේ උරන - රුදුරු මැසි මදුරු නැත
නැගුනු ලා තණ පදුරු ගොන්නු කති
වැසි දහර වැටෙන විට - ඉවසත්ය ඔවුන් එය
එම්බා වලාවෙනි!
කැමති නම් වසිනු මැන.

බුදු පියාණන් වහන්සේ :
මනා ලෙස සකස් කල - පහුරු බැද නිමා විය
සැඩ පහර සිදලමින් - එතෙර වී හමාරය
නොමැත පහුරෙන් යලිත් - මෙමට ගත හැකි වැඩක්
එම්බා වලාවෙනි!
කැමති නම් වසිනු මැන.

ධනිය:
ලෝල නැත ගෝපිකා – කීකරුය මට ඉතා
බොහෝ කල් සිටි නිසා – මම මනාපයි ඉතා..
ඇගේ කිසි දොසක් නම් – නොම අසමි කිසි දිනක
එම්බා වලාවෙනි!
කැමති නම් වසිනු මැන.

බුදුපියාණන් වහන්සේ :
භව දුකින් මිදුනු සිත – කීකරුය මට ඉතා
බොහෝ කල් වැඩු නිසා – දමනයයි මට ඉතා..
සිතේ කිසි දොසක් නම් – නොම දකිමි කිසි දිනක
එම්බා වලාවෙනි!
කැමති නම් වසිනු මැන.

ධනිය :
හරි හම්බ කර ගත්ත – මගේ දෙයකින් යැපෙමි
මා ලෙසම දරුවෝ ද – ලෙඩ දුකින් තොරයෝය
ඔවුන්ගේ කිසි දොසක් – නොම අසමි කිසි දිනක
එම්බා වලාවෙනි!
කැමති නම් වසිනු මැන.

බුදුපියාණන් වහන්සේ :
කාගෙවත් ලඟ මෙමා – වැඩ කරන්නෙක් නොවෙමි
වැඩ රහිත කෙනෙක් ලෙස – සැරිසරමි සියළු ලොව
හම්බ කරනා යමක් – ඇවැසි නැත මට කිසිත්
එම්බා වලාවෙනි!
කැමති නම් වසිනු මැන.

ධනිය :
තරුණ වැස්සෝ ද වෙති – චූටි පැටවුන් ද වෙති
ගැබ් දරන දෙනුන් වෙති – පට්ටි ගවයන්ද වෙති
වැඩුනු ගවයන් ඇතුළු -  මහා වැස්සෝ ද වෙති
එම්බා වලාවෙනි!
කැමති නම් වසිනු මැන.

බුදුපියාණන් වහන්සේ :
තරුණ වස්සෝ ද නැත – චූටි පැටවුන් ද නැත
ගැබ් දරන දෙනුන් නැත – පට්ටි ගවයන්ද නැත
වැඩුනු ගවයන් ඇතුළු - මහා වස්සෝ ද නැත
එම්බා වලාවෙනි!
කැමති නම් වසිනු මැන.

ධනිය :
නොසෙල්වෙන ලෙස කණු ද - හොදින් සිටුවා තිබේ
මුදු තණින් කල සොදුරු - කඹ වලින් බැද තිබේ
චූටි පැටවුන්ට එය - සිදලන්ට නොහැකිම ය
එම්බා වලාවෙනි! කැමති නම් වසිනු මැන.

බුදුපියාණන් වහන්සේ :
හැම බැදුම් බිද දැමු - මහා වස්සෙකු විලස
ඇත් රජෙක් සිද දමන - දිරා ගිය වැලක් ලෙස
නො එන්නෙමි යලිත් මම - මවු කුසක නිදන්නට
එම්බා වලාවෙනි!
කැමති නම් වසිනු මැන.

උතුරමින් වල ගොඩැලි - මහා වැසි ඇද හැලුනි
වසින හඩ අසා සිටි - ධනිය මේ කරුණ කී

ධනිය :
සැබවින්ම අපට නම් - මහත් වූ ලාබයකි
ඇස පුරා දැක ගතිමු - අපේ භගවතාණන්
නැණැස් ඇති සමිදුනේ - අපි ඔබව සරණ යමු
මහා මුනිතුමනි ඔබ,
අප සියලු දෙනා හට - ශාස්තෘ වනු මැනව!

ගෝපිත් සමග මම - කීකරුව වසන්නෙමු
සුගතයන් ගේ සසුන් - බඹසරෙහි සරන්නෙමු
මැරෙන ඉපදෙන ලොවෙන් - එතෙරට ම දුවන්නෙමු
සියලු දුක් වල නිමාවක් - මෙහි ම කරන්නෙමු

පවිටු මාරයා:
සතුටු වෙයි පුතුන් නිසා - ලොවේ පුතුන් සිටින කෙනා
ගව හිමි තුටු වෙයි එලෙසින් - හරකබාන සිටින නිසා
මිනිසා හට කෙලෙස් වලින් - සතුටක් ම ය ලැබ දෙන්නේ
යමෙක් කෙලෙස් රහිත වේ ද - ඔහු සතුටින් නොවසන්නේ

බුදුපියාණන් වහන්සේ :
ශෝක වෙයි පුතුන් නිසා - ලොවේ පුතුන් සිටින කෙනා
ගව හිමි දුක් වෙයි එලෙසින් - හරකබාන සිටින නිසා
මිනිසා හට කෙලෙස් වලින් - ශෝකය ම ය උපදින්නේ
යමෙක් කෙලෙස් රහිත වේ ද - ඔහු ශෝකෙන් නොවසන්නේ

(ධනිය සුත්ත – ඛුද්දක නිකායේ සුත්ත නිපාතය)

මෙම රමණීය සංවාදය අවසානයේ , තමා සතු දේ ගැන කොතෙක් උදම් ඇනුවත් සැබෑ සතුට සැනසුම ඇත්තේ සියල්ල අත හැරීම තුල බව නැණවතෙකු වූ ධනිය තේරුම් ගත්තේය. තම බිරිඳද සමග බුදු පියාණන් වහන්සේ හමුවීමට ගිය ධනිය අමා දම් රස හදවතින් ම විඳ සියළු දුක් නසා අමා නිවන් සුව අත් කර ගත්තේය. අපේ බුදු සමිඳුන්ගේ අනුශාසනා ප්‍රාතිහාර්යය සැබවින්ම ආශ්චර්යමත් නොවේද?

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන්ගේ “අපේ බුදු සමිදු තවම වැඩ වෙසෙති” කෘතියෙනි…

Bookmark and Share Related Posts with Thumbnails

2 comments:

බ්ලොග් කලාවේ ධර්මය ගැන ලියවෙන අතලොස්සක් බ්ලොග් අතරට ඔබේ බ්ලොගය අයත් වෙනවානම් ඇත්තටම මට එය සතුටක්...

ලොකු සාදු ගැන කථා කරේ අය්යා පින්නපොල සර්ගේ වත් ක්ලාස් ගිහින් තියනවාද??

Nalaka Gamage said...

දේවා ගේ අඩවිය,
ස්තුති. ඔබගේ බ්ලොග් වියමන තුලත් මම දකින සමාජීය ප්‍රස්නම බහුලව සාකච්චා වෙනවා දැක තියෙනවා.

ලංකාවේ අපිට මොකද්දෝ පිනක් හන්ද කවදත් අද්යාත්මික හිඩැසක් ඇතිවෙන්නේ නෑ. මන් හිතන්නේ අද එක ඤාණානන්ද ලොකු හාමුදුරුවෝ ඉටුකරනවා. ධර්මයට දුන් අල්ල අල්ල හදුන්කූරු පත්තුකර කර ඉන්න හරි, වාද විවාද ඇතිකරගන්න හරි එහෙමත් නැත්නම් ශාස්ත්‍රීය විග්‍රහ කර කර ඉන්නවට වඩා , සරලව ජනතාවට බුදු දහම පැහැදිලි කර මාර්ගය වඩන්න පොලබවන එක උන් වහන්සේ කරන ලොකුම සේවයක්.

 
 
 

අද දෙරණ

lankadeepa.lk

defence.lk