ශ්‍රී ලංකික දේශපාලනයේ පරපෝෂිතයා

12 January, 2012

ඇතැම් පුද්ගලයන් රටක ඉපදෙන්නේ ජාතියේ පිනටයි. නමුත් තවත් සම හරක් මවු බිමෙහි ජනිත වන්නේ ජාතියේ අවාසනාවටය. මර්වින් සිල්වා ගේ දේශපාලන ක්‍රියා කාරකම් දෙස බලන විට ඔහුව හදුනා ගත හැක්කේ මෙම දෙවැනි ගණයට අයත් දේශපාලකයෙක් ලෙසය. මෙම දේශපාලන පරපෝෂිතයා ජාතියේ සංස්කෘතික, අධ්‍යාත්මික සහ ආර්ථික රුධිරය උරා බොද්දි ජනතාව තව දුරටත් අරළු බිවූ ගොළුවන් සේ සිටිය යුතුද?

දේශපාලන ආගමනය
මර්වින් දේශපාලනයට පිවිසෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය හරහා රාජපක්ෂලාගේ රාජධානිය වූ හම්බන්තොට දිස්ත්‍රික්කයෙනි. එබැවින් ආරම්බයේ පටන් මහින්ද රාජපක්ෂ මැතිතුමා සමග යම් දේශපාලනික සහජීවනයක් මර්වින් ට තිබුන බව ඉතා පැහැදිලිය.  තම පුද්ගලික දේශපාලන ලාභ අපේක්ෂාවන් සදහා පසු කලකදී ඔහු එ.ජා.ප යට පනින්නේය. එම කාලය තුල ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පොදු පෙරමුණේ ජනාධිපති අපේක්ෂිකාව වන චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියට අපහාස කරමින් දකුණේ UNP දේශපාලන වේදිකාවල ප්‍රමුඛ කථිකයකු බවට මර්වින් පත්වෙන්නේය. චන්ද්‍රිකා කුමාරතුංග ජනපතිනිය වීමත් සමග මෙම දේශපාලන කවටයා ප්‍රසිදියේ බුලත් අතක් දී දෙපා වැද සමාව අයැද නැවත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක්වන්නේ ජාතියේ පරපෝෂි දේශපාලුවන් බොහෝ විට සිටින්නේ බලය ඇති ආණ්ඩු සමග බව පසක් කරමිනි.  චන්ද්‍රිකා ආණ්ඩුව තුල දෙවැනි පෙළ චරිතයක් වන මර්වින් ක්‍රමයෙන් හම්බන්තොට ජනතාවට තිත්ත වූ පසු කොලබට දේශපාලන කරණමක් ගසන්නේය.

කොලබ දිස්ත්‍රික්කයේ ජනතාවගෙන් ප්‍රතික්ෂේප වීම
2004 මහා මැතිවරණයට කොලබ දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත්වන මර්වින් කොලබ දිස්ත්‍රික් මනාප ලය්ස්තුවේ අවසානයට පත් වෙන්නේ මනාප 2236 වැනි සොච්චමක් ලබා ගනිමිනි. ජනතාවගේ  චන්දයෙන්  ප්‍රතික්ෂේප වන මෙම අවලංගු දේශපාලකයා චන්ද්‍රිකා කුමාරතුංග විසින් ජාතික ලය්ස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් කරන්නේ එක අතකින් ජාතික ලය්ස්තුව යන සංකල්පයටත් අනික් අතින් ජනතාවටත් කොකා පෙන්වමිනි.

මර්වින් සිල්වා සහ පුතුන්
මර්වින් සිල්වාගේ මැර ක්‍රියා හම්බන්තොට දේශපාලනය දක්වා දිව ගියද ඒවා වඩාත් ජනතාව අතරට පැමිණෙන්නේ ඔහුගේ නොහික්මුණ පුතුන් විටින් විට රාත්‍රී සමාජ ශාලාවලට පැන කළහ කිරීමත් සමගය. ඔවුන් විසින් කිහිපවරකදීම සාමාන්‍ය පුද්ගලයන්ට සහ කළමනාකරුවන්ට පහරදීම් වාර්තා වූ අතර ඒ හැම අවස්ථාවකම ඇමති තාත්තා තම දේශපාලන හයිය ප්‍රසිදියේ පෙන්වමින් තම පුතුන් නීතියේ රැහැනින් ගලවා ගනු ලැබුවේ එම ස්ථාන වලටම ගොස් ප්‍රසිද්දියේ තර්ජනය කරමිනි. තවත් වරක ඔහුගේ පුතුන් රාත්‍රී සමාජ ශාලාවක මත්ද්‍රව්‍ය මෙහෙයුමක යෙදී සිටි පොලිස් මත්ද්‍රව්‍ය ඒකකයේ නිලධාරීන්ට තර්ජනය කර පහර දීමක් කල අතර අධිකරණයට ඉදිරිපත් කල තම පුතුන් තමන්ම පුද්ගලිකව ඉදිරිපත් වී ඇප දී මුදා ගෙන පසුව සිද්දිය යට ගසන ලදී.

මහින්දාගමනය සහ දුටු ගැමුණුට චරිතය වැනසීම
මහින්ද රාජපක්ෂ මැතිතුමා 2005 දී ජනාදිපති ධුරයට පත් වීමත් සමග වැඩි දේශපාලන නිදහසක් ලබන මර්වින් සිල්වා ඕනෑම අවර ගනයේ වැඩක් කර පැමිණ ප්‍රසිද්ද ජනමාධ්‍ය ඉදිරියේ පවසන්නේ තමා රුහුණේ අයෙකු බවත්, දුටු ගැමුණු පරම්පරාවේ අයකු බවත් ය. මෙයින් පළමුව ඔහු රුහුණේ මිනිසුන් කලක සිට ඇති කරගෙන තිබු අභිමානය බල්ලට දැමුවේය. ඊටත් වඩා අභාග්‍ය නම් සිංහලයන්ගේ මහත් ගෟරවාදරයට පත් ව සිටි ඉතිහාසයේ පරමාදර්ශී රාජ්‍ය නායක චරිතය වූ දුටු ගැමුණු රජතුමාගේ කීර්තිය මෙම දේශපාලකයා විසින් ප්‍රසිද්දියේ කෙලෙසා දැමීමය.!!!  දේශද්‍රෝහී සිරස වැනි මාධ්‍ය ජාලයන් විසින් මෙම අවර දේශපාලකයා හැදින් වීමට පුන පුනාම 'දුටු ගැමුණු' යන නම භාවිතා කරන ලද්දේ මෙම දේශ පාලකයා ගේ චරිතය බාවිතයෙන් වක්‍රව දුටු ගැමුණු රජ තුමාගේ ශ්‍රේෂ්ට චරිතය ජාතිය ඉදිරියේ හැල්ලු කිරීමට බව නොරහසකි.

ආචාර්ය සිල්වා
මුදලට පිනාචාර්යන් වුවන් අතර ශ්‍රී ලංකාවේ මුලටම සිටින්නේද මර්වින් සිල්වාය. ආණ්ඩුවේ කැබිනට් ඇමති කෙනෙක් ප්‍රසිද්දියේ පිනාචාර්ය පට්ටමක් බාවිතා කිරීම මගින් පෙනී යන්නේ මුදලට ආචාර්ය උපාධි විකිණීම සහ බාවිතය රජයේ නිල අධ්‍යාපන ප්‍රතිපතියේ කොටසක් බවය්. මෙවැනි හිස් පබයන් සිටින කැබිනට් මණ්ඩලයකින් අධ්‍යාපනයේ ගුණාත්මක දියුණුවක් ඇති වේ යයි සිතීමත් විහිළුවක් පමණි.

රුපවාහිනී පරිශ්‍රයේදී සල්ලම් වීම
සමස්ත ජනතාවගේ දැඩි පිළිකුලට ලක්වී ජනතාව තලා පෙළමින් සිටි මර්වින් සිල්වාට නිවැරදි ජනතා සැලකීමක් කරනු ලැබුවේ ජාතික රුපවාහිනියේ ජනමාද්‍ය සගයන් විසිනි. රුපවාහිනී පරිශ්‍රයට ගොස් එහි සහෘදයන්ට චන්ඩි කම් පෙන්වීමට ගිය මෙම දේශපාලන විකටයා එහි සේවකයන්ගේ දැඩි විරෝදයටත් ගර්හාවටත් පත්ව හමුදා ආරක්ෂාව යටතේ එලියට පැමිණියේ තීන්ත බාල්දියක් නාගත් සිගාලයකු ගේ සැබෑ ස්වරූපයෙනි.

ලැජ්ජා නැති කම මහ මුදලි කමටත් වැඩියය් කියන්නා සේ මෙවැනි දේ තුලින් මර්වින් සිල්වාට හෝ ආණ්ඩුවට කිසිදු ලැජ්ජාවක් දැනුනේ නැත. සිදු වුයේ වැඩි වැඩියෙන් ඔහුට බලතල ලබා දීම පමණි. කම්කරු ඇමති ඉතා කෙටි කලකින් ජනමාද්‍ය ඇමති වන්නේ එහි ආනුභාවයෙනි.

ජඩ කම් කර ජනතා අවදානය ලබා ගැනීම

මර්වින් සිල්වා යන චරිතය තුල සාධනීය ලක්ෂණ නැති බව කාටත් වඩා හොදින් ඔහුම දනී. ඔහුගේ එකම දේශපාලන ආයුධය හුදු ප්‍රසිදිය ලබා ගැනිමය. මෙහෙදී ඔහු මුලින් කරන්නේ ඕනෑම තක්කඩි වැඩක් කර ජනමාද්‍ය වල අවදානය තමන් වෙත ලබා ගෙන පුවත් මවන්නෙකු වීමය. අපේ රටේ සිටින ඔලුවක් නැති ඇතැම් ජනමාද්‍ය වෙදින්ද උඩ පනිමින් ඔහුට අවශ්‍ය ජනමාද්‍ය අවදානය ලබාදීමට සැදී පැහැදී සිටි. මෙම බඩගෝස්තරවාදී ඇතැම් ජනමාද්‍ය වේදීන් සහ ආයතන බලා සිටින්නේ පුවත් විකුණා තම මඩිය තරකරගැනීමට මිස හරි වැරැද්ද වෙනුවෙන් අවංකව පෙනී සිටීමට නොවේ. මිනිසුන්ට ප්‍රසිද්දියේ පහර දීම, ගස් බැදීම වැනි ශිෂ්ට සමාජය කිසි විටකත් නොඉවසිය යුතු ජඩ ක්‍රියා බොහෝ විට වාර්තා වුයේ හුදු වාර්තාමය සහ නාටකීය ස්වරුපයකිනි. මෙම වාර්තා කිරීම් තුල බොහෝ විට තිබුනේ පුවත වැඩි පිරිසකට අලෙවි කරගැනීමේ පටු අභිලාශය මිස මෙවැනි සමාජ විරෝදින් ගේ ක්‍රියාවන්ට විරුද්දව පුලුල් ජන මතයක් ඇති කර ඔවුන් ඉතිහාසයේ නිසි තැන වන කුණු කුඩයට දැමීමේ සැබෑ ක්‍රියාන්විතයක් නොවේ.

රටේ නිවට කමේ ප්‍රතිමුර්තිය
මර්වින් සිල්වා යනු රට වැසියන්ගේ නිවට කමේ ප්‍රතිමූර්තිය බව අප කවුරුත් අකමැත්තෙන් වුව පිළිගත යුතව ඇත. රට වැසියන්ට ප්‍රසිදියේ තර්ජනය කර පහර දෙනවිට, රාජ්‍ය නිලධාරීන්ව වැඩවසම් යුගයක මෙන් ගස් බැද තබන විට, සහචරයන් ලවා ව්‍යාපාරිකයන් ගෙන් කප්පම් එකතු කරන විට මෙරට බහුතරය කටත් පශ්චාත් භාගයත් දෙකම වසාගෙන හිස පොලවේ ඔබා ගෙන සිටීම ජාතියේම අභාග්‍යකි. නිවට ජාතියට හිතන්න පුරුදු කර ඇත්තේ අමනයන් ගහන්න ගහන්න තව තවත් ඔවුන්ටම වදින්නටය. නැතහොත් මෙවැනි අඳ බාල දේශපාලුවන්ට ඡන්ද වලදී මෙතරම් මනාප ලැබෙන්නට හේතුවක් නැත. ඔහුට ලැබෙන සියලු මනාපයන් හොර ඡන්ද ලෙස බැහැර කල නොහැක. රට තුල නිවට බුරුවන් සහ මෝඩ හරක් සිටින තුරු මෙවැනි දේශපාලුවන්ද එවැනි ජනතාවගේ නියෝජනය සදහා පාර්ලිමේන්තුවට පිවිසෙනු ඇත. අද මුළුමහත් ගම්පහ දිස්ත්‍රික්කයේ සහ විශේසයෙන් කැලණිය ප්‍රදේශයේ (ඔහුට මනාප නොදුන්) ජනතාව තමන්ගේ ප්‍රදේශය නියෝජනය කරන දේශපලුවා නිසා හෑල්ලුවට ලක්වී ඇත.

පරපෝෂී ස්වරුපය
මොහු එක අතකින් රාජපක්ෂ ආණ්ඩුව ඇතුලතින් සිට භක්ෂණය කරන ක්‍රමයෙන් ආණ්ඩුව ජනතා අප්‍රසාදය කරා ගෙන යමින් සිටී. තමන් ඉපදුන රුහුණේ ජනතාවගේ කිර්තිය තමන් කරන ජඩකම් වලට හිලව්කරන ඔහු ශ්‍රී ලාංකිකයන්ගේ අභිමානවත් සංස්කෘතිය සහ ඉතිහාසයද විකුර්ති කරමින් තම උදර පෝෂණයට යොදා ගනී. චිත්‍රපට සහ ටෙලි නාට්‍ය වල තමන්ට කිසිදු ගැලපීමක් නැති චරිතවලට පෙනී සිටිමින් එම ගෞරවාන්විත ඓතිහාසික චරිත කෙලෙසමින් තම දේශපාලන පැවැත්ම තහවරු කර ගැනීමට නින්දිත ලෙස උත්සහ දරය්. මතුපිටින් දේශප්‍රේමී මිනිසුන්ගේ නහය විද ඔවුන්ගේ හැගීම් සමග ශුක්ෂම ලෙස ගනු දෙනු කිරීමටද මර්වින් දක්ෂය. රටේ ඇති ජනප්‍රිය තරු සංස්කෘතිය පසු පස යන සමාජ අත්දැකීම් අඩු වයස 19 -25 අයත් ලද තරුණ තරුණියන්ගේ මනාප පික් පොකට් ගසගන්නට ඔහු ස්වර්ණවාහිනිය නම් මාද්‍ය ගුබ්බෑයමටද නිතර රින්ගන්නේය.

ඉදහිට සිරසට ගලක් ගසා දේශපාලන අඳ බාලයන් ලවා තප්පුලවා ගැනීම
මෙසේ ජනතාවගේ අවදානය ලබාගන්න මෙම කපටි දේශපලුවා එම සුලබව ලැබුණු ජනතා අප්‍රසාදයෙන් කොටසක් ශුක්ෂම ලෙස තම ඡන්ද බවට පත් කරගන්න අයුරු දන්නේය. තම සහචරයන් පිරිසක් සමග ගොස් සිරස මාද්‍ය ආයතනයට ගලක් දෙකක් ගසන්නෙත්, උසාවි නියෝගය ලැබුණු විටක සරම කරට ගෙන හිතවත් ජනමාධ්‍ය වේදීන් සමග ගොස් එළුවන් හෝ ගවයන් තමා විසින් මුදා ගන්නා බව අගවන්නෙත්, අර ජනතා අප්‍රසාදය හීන් නුලෙන් චන්ද බවට පත් කරගැනීමටය.

මෙවැනි හුදු කේවල සිද්දියක් දුටු විගස ඔහුගේ සිදුවන සියලු අකටයුතුකම් අමතක කර ඔහුට හුරේ දැමීමටත් සතුටින් තප්පු ලෑමටත් අපේ සමාජයේම දේශපාලන අඳ බාල කොටළුවන් පිරිසක් සැදී පැහැදී සිටි. ඒ අතින් බලන කල දුටුගැමුණු චරිතය කෙලෙසු මෙම ජාති ද්‍රෝහියා කවටයා ඇතැම් ජාතිකවාදී සහෘදයන් ලවාම හුරේ දම්මා ගැනීම සිතට කණගාටුවක් ඇතිකරවන සුළුය.

බුද්ධ පුත්‍රයන් වහන්සේලා ට අභියෝග කිරීම
මෙර්වින් සිල්වාට දෙවැනි වරට වැඩ වැරදුනේ සිරිධම්ම හිමි සිද්දියට මැදිහත් වී කැලණියේ නිවටයන්ට දමන මැර කම් භික්ෂුන් වහන්සේලාට දැමීමට යෑමෙනි. සංඝ රත්නය ඉදිරියේ තම දේශපාලන හය්ය පෙන්වමින් හැසිරුණ මෙම අද බාල දේශපාලකයාට යටත් නොවී ඔහු එම ස්තානයෙන් පලවා හැර ජාතියට නැවත වරක් මග පෙන්වීමක් සිදු කල සංඝ රත්නයට අපගේ නමස්කාර පූර්වක ගෞරවය දැක්විය යුතුය.


දේශපාලන අහිකුන්ටික බාවය
මර්වින් සිල්වා යනු එක තැනක ටික කලක් සිටින විට සැබෑ චරිතය හෙළිවී ලිස්සා යාමට සිදු වන දේශපාලන වසයෙන් අහිකුන්ටික  චරිතයකි. හම්බන්තොටින් කොලබටත්, පසුව කැළනියටත් කඩා පාත්වූ මොහු හෙට දින කැළණියෙන් ප්‍රතික්ෂේපවන කල රටේ තව ප්‍රදේශයකින් අලුත්ම මාදිලියේ මාද්‍ය සංදර්ශනයක් සමග මතු වීමට ඉඩ ඇත. ආත්ම ගෞරවයක් ඇති මිනිසුන් සිටින පළාතකට මෙවැනි දේශපාලුවන් වැද්ද නොගැනීමට වග බලා ගත යුතුය.

විපක්ෂයේ දෙබිඩි පිළිවෙත
මේ රටේ විපක්ෂය යනු රටට හිතැති පිරිසක් නොව හුදු බලයට කෙල හලමින් සිටින දේශ ද්‍රෝහීන් රැලකි. මර්වින් සිල්වා කරනු ලබන සියලු සමාජ විරෝදී ක්‍රියාකාරකම් හමුවේ විපක්ෂය ක්‍රියා කරන්නේද ඉතාමත් ව්‍යාජ ආකාරයකිනි. ඔවුන් බොරුවට මාද්‍ය ඉදිරියේ ප්‍රකාශ කරනු විනා ඔහුට විරුද්ධව නීතිමය පියවර ගැනීමට හෝ සැබෑ සමාජ අරගලයකට කිසිවිටකත් නොයන්නේය.  ඔහුගේ සමාජ විරෝදී ක්‍රියා හේතුවෙන් රජය ජනතා අප්‍රසාදයට ලක්වීම තමන්ට වෙස් වලාගත් ආශීර්වාදයක් ලෙස කුහක විපක්ෂ දේශපාලකයන්ද සිතනවා විය යුතුය.  

ආණ්ඩුවේ වගකීම
මෙවැනි පුද්ගලයන්ව තව දුරටත් ආණ්ඩුව තුල තබාගන්නේ ඇයි ද යන්න පක්ෂ පාට බේදයකින් තොරව අද  සියලු ජනතාව රජයෙන් ප්‍රශ්න කරයි. නමුත් රාජ්‍ය නායකයා ගේ සහ ආණ්ඩුවේ අනෙකුත් වගකිව යුත්තන් ගේ මේ සම්බන්ද උදාසීන හැසිරීම ඉතාමත් පිළිකුල් සහගතය. එක්කෝ රටේ පාලකයන්ට හීන මානය ඇති හෙයන් ප්‍රසිද්ද තැන්වල පාමුල ලග වැද වැටී සිටින දේශ පාලුවන් කරන නොපනත්කම් නොදැක්ක ලෙස සිටී. නැතහොත් තමන් ගේ කිල්ලෝට තුල ඇති කුණු මෙම දේශපාලුවා ප්‍රසිද්ද කරනු ඇතය් බියෙන් අඳ ගොළුවන් සේ විද දරාගෙන සිටි. රටක රාජ්‍ය නායකයාගේ ප්‍රතිරූපය යනු හුදු ඔහු කරන කියන දේ පමණක්ම නොව ඔහු වට සිටින ඔහුගේ කිට්ටු මැති ඇමතිවරුන්ගේ පෞර්ෂයන්ගේ සහ ක්‍රියා කලාපයන්ගේ  සම්ප්‍රයුක්තයක් බව අමතක නොකළ යුතුය. ජනතාවගේ දැඩි පිළිකුලට පත් සමාජ විරෝදී අඳ බාල ඇමතියන් අතවැසියන් ලෙස තබාගත් රාජ්‍ය නායකයන් ශ්‍රේෂ්ටයන් ලෙස කිසි විටකත් ඉතිහාසයේ නොලියවෙනු ඇත.

ජනතාවගේ වගකීම
පක්‍ෂ විපක්‍ෂ බේදයකින් තොරව රටේ සියලු ජනතාව ඒකරාශී වී මෙවැනි පුද්ගලයන් දැඩි ලෙස පිළිකුලෙන් ප්‍රතික්ෂේප කර චන්දයෙන් පැරදවීම අත්‍යවශ්‍ය කරුණකි.  ඔවුන් තම දේශපාලන බඩ ගෝස්තරය රැක ගැනීම සදහා ක්‍රියාත්මක කරන යාන්ත්‍රනය හොදින් දැන සිටීම මෙහිදී ඉතා වැදගත් ය. රජය තව දුරටත් (මොනයම් හෝ හේතුවක් නිසා) මෙවැනි සමාජ විරෝදින් වෙනුවෙන් පෙනී සිටි නම් එවන් රජයන් කෙරෙහිද දෙවරක් සිත බැලිය යුතුය. ව්‍යාජ දෙබිඩි චරිත රගපාන විපක්ෂ දේශපාලකයන් සහ ඔවුන්ගේ අන්ද අනුගාමිකයන් තේරුම් ගැනීමටත්, මෙවන් චරිත උසිගන්වාගෙන නාටකීය ස්වරුපයෙන් පුවත් මවමින් විකුණන දේශද්‍රෝහී ව්‍යාපාරික ජනමාද්‍ය ආයතනවල හැසිරීම තේරුම් ගැනීමටත් අප උත්සුක විය යුතුය.

Ref:
- http://www.slelections.gov.lk/pdf/Preference2004GE.pdf

Bookmark and Share Related Posts with Thumbnails

4 comments:

Anonymous said...

ඔබ වැනි ලේඛකයෙකුගෙන් අප මෙවැනි ලිපි බලාපොරොත්තු නොවෙමු. මේ රටේ ලියන්නට මීට වඩා බොහෝ වැදගත් දේ තිබේ.ඇස් කන් ඇති ඕනෑම කෙනෙකුට මේ සියල්ල අළුත් දේ නොවේ.
ගෙදර ඇති කරන බළලාගෙන් ගෙදර මිනිස්සු මැනගත හැකි යැයි කියමනක් මා අසා ඇත. මර්වින් ගැන කියන්නට තියෙන්නේද ඒකමය.
හැබැයි ජැක්සන් ඇන්තනි, ජේ ආර් පී සූරියප්පෙරුම වැනි අය ගැන කියන්නට තිබෙන වෙනස නම් හොඳට ඉගෙනගෙන තිබීම නිසා මර්වින්ට තරම්ම කුජීත ෂෝ නොපෙන්නා මර්වින් කරන වැඩේම නම්බුකාර ලෙස පෙනෙන්නට කරන්න පුළුවන් වීමය.
මේ වගේ අයට වක්‍ර ප්‍රසිධිය දෙන සුපර් ස්ටාර් වැඩ කරන්නට නොගියාට "නාලකගේ සිතුවිලි" වලට මිනිස්සු ගෙන්නා ගන්නට බැරි වෙන්නේ නැත.

Nalaka Gamage said...

Annonn,
මට විෂය කිහිපයකට රාමු වීමට අවශ්‍යතාවයක් නැත. ඇතැමුන්ට මෙන් දේශපාලනය ඊයා වැනි ඇලර්ජික් කමක් ද නැත. රටේ දේශපාලනය විසින් සියල්ල අභිබවා යා හැකි කරුණු වලදී සහ තීරණාත්මක යමක් සිදුවන මොහොතකදී එයට උපරිම දායකත්වය ලබා දීම මිස න්‍යායන් කතාකර ලිස්සා යාම මගේ පුරුද්ද නොවේ. යමක් දෙස එකිනෙක වෙනත් අයුරින් දැකීමට ඔබට ඇති අයතියට ගරු කරමි. :-)

Anonymous said...

මර්වින්ට "ගැමුණු අධ්යක්ෂක තුමා" කියවන්නේ සිරස නෙවේ. මර්වින්ට විනිශ්ය මණ්ඩල වලදී ගෑණුන්ට දෙපැත්ත කැපෙන කතා කියන්නට දෙන්නේ සිරස ද?. මර්වින් ව පැදුරු පාටිවලට ගෙන්නා ඩෙඟා නටවන්නෙත් සිරස නෙවෙයි. ස්වර්ණවාහිණිය කියාගන්නා වහන්තරාවාහිණියයි ටෙල්ෂාන් එකයි. ඒවටත් සිරසද පළි?

Nalaka Gamage said...

Anonymous (13 January 2012 19:53),

සියල්ලට 'සිරස' පලි යැය මෙම ලිපියේ පවසා නැත. සිරස පලි විය යුත්තේ සිරසක් නැති මිනුසුන් අන්දවමින් කරන දේට පමණි. ස්වර්ණවාහිනියේ මෙර්වින් නටන විගඩම් ගැනද ලිපියේ සදහන් බව ඔබ සමහර විට නොදුටුවනම් පහතින් උපුටා දක්වමි.

""'රටේ ඇති ජනප්‍රිය තරු සංස්කෘතිය පසු පස යන සමාජ අත්දැකීම් අඩු වයස 19 -25 අයත් ලද තරුණ තරුණියන්ගේ මනාප පික් පොකට් ගසගන්නට ඔහු ස්වර්ණවාහිනිය නම් මාද්‍ය ගුබ්බෑයමටද නිතර රින්ගන්නේය."""

 
 
 

අද දෙරණ

lankadeepa.lk

defence.lk