ක්‍රීඩාව බබලන මාලින්ගලා සහ ක්‍රීඩාවෙන් බැබලෙන මහත්හොරු

24 April, 2012

මේ රටේ දේශපාලකයන්ගේ සහ ඔවුන්ගේ සහචරයන්ගේ මුග්ද ක්‍රියා නිසා ඩොලරයේ අගය වල පල්ලට වැටෙමින් පවතින මොහොතේ ජනාධිපතිගේ පුතුන් මෙන් කාර් රේස් තබමින් සහ විදේශ චැනල් තව තවත් මෙරටට ගෙන එමින් රටේ මුදල් පිටරටවල් වලට කාබාසිනියා නොකර, ලසිත් මාලිංග ඉන්දියාවේ IPL ක්‍රීඩා කර වැඩිපුර විදේශ විනිමය මෙරටට ගෙන එනවාට මම නම් කැමතිය.
ක්‍රීඩාව වාණිජ කරණය වී ඇත යන යථාර්තය දැන්වත් පිලි ගෙන ඒ ආකාරයට ක්‍රිකට් පරිපාලනය කල යුතුය. වැරදි තීරණ හේතුවෙන් තරග ජයග්‍රහණත් මූල්‍යමය පාඩුත් ඇති කරගන්න ක්‍රිකට් පාලක මණ්ඩලයේ බඩ තඩි නිලදාරීන්ගේ පරිපාලන වියදම් එක අතකිනුත්, අනෙක් අතට කපුගෙදර, චාමර සිල්වා වැනි නිකමුන් ගේ දීමනාත් කපාහැර අවශ්‍යනම් මාලින්ගලා තවදුරටත් ශ්‍රී ලංකා පිලේ තබා ගත හැක.
මේ දක්වා අප ක්‍රිකට් ක්‍රීඩාව තුල බොහෝ දුරට දැක තිබුනේ නිලදාරීන් සහ දේශපාලුවන් පසු පස ගොස් හෝ තම ධන බලයෙන් කණ්ඩායමට ඇතුල්වීමට දතකන පෙන්දන් සහ මහලු ක්‍රීඩකයන්ගේ විගඩම්ය. තමා තුල සැබෑ හැකියාවන් සහ දක්ෂතා ඇත්නම් සිදුවිය යුත්තේ තමන්ට හැකි සමයේ උපරිමයෙන් දක්ෂතා දක්වා වැඩබැරි නිලධාරින්ටත් අවශ්‍ය තැනදී ඝර්ජනය කරමින් තමන්ට හැකි කාලයක් ක්‍රීඩා කර සැබෑ සිංහයකු සේ නිසි කලට ක්‍රීඩාවෙන් සමු ගැනීමය. ලසිත් මාලිංග යනු මෙම දෙවන වර්ගයේ ක්‍රීඩකයෙකි.

ආණ්ඩුවේ නිදහස් අධ්‍යාපනය ලබන දොස්තරලාට අසරණ ලෙඩුන්ගෙන් තමන් කැමති මුදල අය කර පුද්ගලික බෙහෙත් දීමට නිදහස ඇත්නම් හෝ නිදහස් අධ්‍යාපනය ලබන වුර්තිකයන්ට පිටරට පදිංචි වී වැඩි පඩියට එම රටවල සේවා කිරීමට නිදහස ඇත්නම් මාලිංග IPL ක්‍රීඩා කිරීමේ වරද කුමක්ද? උගුරට හොරා බෙහෙත් බොන සංගක්කාරලා, මහේලලාට හෝ ක්‍රීඩාවෙන් විශ්‍රාම ගොස් දේශපාලනයට පැමිණ බකන් නිලාගෙන සිට වරප්‍රසාද සහ පඩි ගන්නා සනත් ජයසූරියලාට වඩා මාලිංග අව්‍යාජ ය. 
ක්‍රීඩාව බබලන සැබෑ හැකියාවන්ගෙන් පරිපුන් මාලින්ගලා ක්‍රීඩාවෙන් බැබලෙන්නට උත්සහ දරන දුෂිත මහත්හොරුන්ට අබියෝග කරන්න පටන්ගෙන ඇත.

"ලැබිය යුතු වූ දෙයක් වේ නම් සුදුස්සාටම ලැබිය යුතුමය"
- අසඩක් (හුණු වටේ කතාව)

Bookmark and Share Related Posts with Thumbnails

0 comments:

 
 
 

අද දෙරණ

lankadeepa.lk

defence.lk