පරම සුන්දර සතුට

17 February, 2013

නූතන මිනිසා අනවරත තරගයක යෙදෙන්නේ සතුට සොයමින් නොවේද? ඒ සදහා ඔවුන් නොකරන කැපකිරීමක් නැති තරම් ය. රටවල් හෝ ප්‍රදේශ නොයෙක් උපක්‍රම යොදාගෙන ආක්‍රමණ කරමින් ඍජු සහ වක්‍ර ක්‍රියා මාර්ග වලින් මිනිසුන් මරන්නේ, බොරුවෙන් රවටන්නේ  මෙම වැඩි වැඩියෙන් සතුට සොයන මිනිසුන්, ජනවර්ග සහ රටවල් නොවේද? මේ සියලු දේ අවසානයේ ඔවුන් සැබවින්ම සතුට ලබනවාද නැතිනම් වඩ වඩාත් අසහනයෙන් සිටිනවාද යන්න සමාජය දෙස බලා තේරුම් ගත යුතු දෙයකි.

ලෝකයේ විශාලම සතුට නම් යතාර්ථය හෙවත් සත්‍ය දැකීමයි. "නිබ්බානං පරමං සුඛං" යයි බුදු රජාණන් වහන්සේ දේශනා කලේ එම නිසයි. සත්‍ය යනු යමක යථා ස්වභාවයයි. යමක් දෙස අව්‍යාජව බැලූ විට පහසුවෙන් පෙනිය යුත්තේ ද එහි යථාර්තයයි. එසේ වුවද මෙම යතාර්ථය බොහෝ අයට නොපෙනෙන්නේ සත්‍ය අපැහැදිලි දෙයක් වීම නිසා නොව සසර පුරාත්, මෙම ජීවිතය තුල තමන් උපන් දා සිටත් තමන් බැදී සිටින නොයෙක් දෘෂ්ටින් නිසා ලෝකය දෙස එම දෘෂ්ටිමය පාට කන්නාඩි වලින් බැලීමට යාම නිසායි.


හාත්පස ඔබ දකින බොහෝ වාද විවාදයන්ට සහ ගැටුම් වලට මූලික හේතුව තමන් අල්ලා ගත් මතවාදයන් හරි බව ඔප්පු කිරීමට දරන බොලද උත්සාහයන් මිස යතාර්ථය තේරුම් ගැනීමට දරන අව්‍යාජ උත්සාහය නොවේ. විතර්කය යනු සත්‍ය ආවරනය කරන බොලද දෙයක් මිස එය මතු කරන දෙයක් නොවේ.

දුක යනු ලෝකය නිවරදිව අවබෝද කර නොගැනීම මත ඒවා තමන් සිතන අයුරින්ම සිදු නොවීමෙන් ඇතිවන අතෘප්තිකර සහ අසහනකාරී සිතුවිල්ලයි. අනෙක් අතට මැවුම් වාදය හෝ වෙනත් ආත්මවාදී මිත්‍යා දෘෂ්ටියක් සරණ ගොස් මුලාවට පත්ව කටයුතු කරයි නම් ඔහු තුල නිරන්තරයෙන් එකතු වන්නේ විසන්වාදයයි.

යමේක් නිරතුරු අකුසල් කරයි නම් ඔහු නිරතුරුව අසහනයෙන් සිටින්නේන්කි. කිසිවකුට හෝ සතුටෙන් සතුන් මැරීමට, හොරකම් කිරීමට, බොරු කීමට වැනි අකුසල් කිරීමෙහි යෙදිය නොහැකිය. මෙම ක්‍රියා තමන්ට යොදා බැලූ සැනින් එම ක්‍රියාවල ඇති තුච්ච ස්වභාවය ඔහුටම යථාර්තයකි. මෙයින් ඔහු තුල ම විසංවාදය හට ගනී. මෙම අසහනකාරී හැගීමෙන් මිදීමට එක්කෝ ඔහුට මත වතුර භාවිතය වැනි කෙටිකාලින ව්‍යාජ විසදුමකට යාමට සිදු වේ. නැතහොත් තමන් රැස්කරමින් සිටින අකුසල කර්මයන්, ඉරණම වාදයකට හෝ දේව කැමත්තකට හිලව් කිරීමට වඩ වඩාත් මිත්‍යා දෘෂ්ටියකට ඇලීමට සිදු වේ, එසේත් නැතහොත් අන්තවාදී දේශපාලන මතවාදයක සරණ යාමට සිදු වේ. මේ හැම දෙයකම අරමුණ තමන් තුල ඇතිවන අසහනය වෙනත් අයුරකින් හිලවු කරගැනීමට හෝ සමාජයට මුදා හැරීමට දරන බොලද උත්සහයයි.

යමේක් මිත්‍යා දෘෂ්ටියකට මුවා වී යතාර්ථය පිළිගැනිම ප්‍රතික්ෂේප කලද ඔහුට යතාර්ථයෙන් සහ සත්‍යයෙන් පලා යා නොහැකිය. එයින් සිදු වන්නේ සසර තුල තව දුරටත් භාව ගාමි වෙමින් එහි යතාර්තයන් විදිමින් රස්තියාදු වීමයි.

එකම විසදුම යථාභූත නුවනින් ලෝකය ඇති සැටියෙන් දැකීමයි. මුලා නොවී යතාර්ථය දැකීම තුල තම ජිවිතයේ අත්දකින දේ සහ තමන්ට ඉදිරියට මුහුණපෑමට සිදුවන කිසිවක් කෙරෙහි මුලා වී අමුතුවෙන් ඇලීමට හෝ ගැටීමට සිදු වන්නේ නැත. මෙසේ අවිනිශ්චිත තාවයකින් හෝ මුලාවකින් තොරව ජීවිතය යතාර්තවාදීව ගත කිරීම තරම් තවත් සතුටක් තිබේද?

යතාර්ථය පිළිබද දැනුම සහ දැනුවත් වීම යනු අව්‍යාජ සතුටයි. එය උපරිමයෙන් අත්විදින්නා "නිවන" හෙවත් නිවීම නමැති පරම සතුට ලබන බව බුද්ධිමතුන් සදහා වූ බුද්ධ දේශනාවයි. අපිත් මේ සදහා වහ වහා උනන්දු විය යුතු නොවේද?

Bookmark and Share Related Posts with Thumbnails

1 comments:

Anonymous said...

Nicely explained in simple sinhala. What you are saying is purely the truth...

 
 
 

අද දෙරණ

lankadeepa.lk

defence.lk