Web 2.0 තොරතුරු යුගයේ අභියෝග සහ අවස්තා

01 April, 2013

මීට වසර කිහිපයකට පෙර රට තුල ප්‍රධාන වසයෙන් ජනමාධ්‍ය සන්නිවේදනය සිදු වුනේ පුවත් පත්, ගුවන් විදුලිය සහ රූපවාහිනිය වගේ එක දිශාවකට (SIMPLEX) සිදුවන තොරතුරු සන්නිවේදනය මාධ්‍ය භාවිතයෙන්. මීට අමතරව රැස්වීම, ජනහමු ආදියත් මෙයට යම් පමණකට ඇතුලත් උනා. මේ හැම මාධ්‍යකම සන්නිවෙදකයාට අධිකාරිමය බලය තිබුන අතර ප්‍රතිග්‍රාහකයාට රගපාන්න තිබුනෙ නිෂ්ක්‍රිය චරිතයක්.
මෙය විදම් අධික සහ වැඩි සම්පත් ප්‍රමාණයක් අවශ්‍ය ජන සන්නිවේදන යාන්ත්‍රණයක්. මෙවැනි මාධ්‍ය බල අධිකාරිය පවත්වාගත හැකි වුනේ හොද මුදල් සහ දේශපාලන බලයක් තිබුන සමාජ පන්තියට පමණයි. රටේ දේශපාලනය සහ ව්‍යාපාරික කටයුතුත් මෙම මොඩලයට අනුවයි හැඩ ගැසී තිබුනේ. තමන්ට අධික ලාභ ලැබිය හැකි ඕනෑම භාණ්ඩයක් හෝ සේවාවක් නිපදවා එක දිශාවකට සිදුවූ මාධ්‍ය භාවිතයෙන් විශාල අලෙවිකරණ ක්‍රියාන්විතයක් කර ඒවා සමාජ ගත කර විකිනීමට හැකි වුන. මෙම පැරණි මාධ්‍ය යාන්ත්‍රනය තුල සමස්ත සමාජයම හිරි වට්ටා හෝ තම අරමුණු ජයගන්න ජන මාධ්‍ය බල අධිකාරිය තිබු පාර්ශවයන්ට හැකි වුනා.

අන්තර්ජාලයේ ආගමනයත් සමග ජන සන්නිවේදනය විප්ලවීය වෙනසකට පත් වුනා. එක අතකින් අන්තර්ජාලය මත පදනම් වූ ජන සන්නිවේදනය ඉතාමත් වේගවත් සහ ඉතාමත් අඩු පිරිවැයකින් යුක්තයි. මේ දෙකටම වඩා වැදගත් කරුණ වෙන්නේ අන්තර්ජාලයේ සිදුවන්නේ ද්විත්ව දිශාවට සිදුවන (DUPLEX) සන්නිවේදනයක් කියන එක. එසේ නොවන (SIMPLEX) ආකාරයට අධිකාරිවාදී ලෙසත් අන්තර්ජාලය හරහා ජන සන්නිවේදනය කල හැකි උනත් තම තරග කරුවන් ද්විත්ව දිශාවට සිදු කරන සන්නිවේදනය හමුවේ ඔවුන්ව ජනතාවගෙන් ප්‍රතික්ෂේප වී කොන් වීමට සිදුවනවා. මෙම නව මොඩලය තුල තොරතුරු ප්‍රතිග්‍රාහකයා තව දුරටත් නිෂ්ක්‍රිය චරිතය නොවන අතර ක්ෂණිකව ප්‍රතිචාර දැක්වීම (Comments), කැමැත්ත ප්‍රකාශය (likes) වගේ දේවලින් ඔවුන් ක්‍රියාකාරිව සන්නිවේදන ක්‍රියාවලියට සහභාගී වෙනවා. මෙම නව සන්නිවෙදන මොඩලය සහ තාක්ෂණික උපයමාර්ගයන්ට අපි තාක්ෂණිකව යොදන කේතය වන්නේ web 2.0 මොඩලය යන්නයි.

මෙම web 2.0 නව තොරතුරු මොඩලය තුල සිදුවූ තවත් විප්ලවීය කරුණක් වන්නේ තොරතුරු ජනතාව අතරට රැගෙන යාමේදී පොදු ජනතාව ඉටු කරන ක්‍රියාකාරිත්වයයි. FaceBook, Google Plus, Twitter වගේ අන්තර්ජාල සමාජීය වෙබ් අඩවිවල ජනප්‍රියත්වයත් සමග වෙබ් අඩවියක පලකරන තොරතුරක් මෙන්ම පුරවැසියකු විසින් තම සමාජීය ප්‍රෝෆයිලය හැර මුදා හරින තොරතුරක් ඉතා වේගයෙන් තම මිතුරු ජාලයේ කැමැත්ත (likes) සහ බෙදා දීම (share) හරහා තොරතුරු වෛරසයක් පැතිරෙන ලෙස (Viral Distribution) පැතිරෙන්න ගන්නවා.

තොරතුරු මුදාහැරීමේ මෙන්ම ඒවා පැතිරවීමේ අධිකාරි බලය යන දෙකම අද පොදු ජනතාව අතට ලැබී තිබෙනවා. මේක ප්‍රජාතන්ත්‍රවාදී සමාජයකට ඉතා සාධනීය දෙයක්. අතීතයේ දේශපාලකයන් සහ ව්‍යාපාරිකයන් අධිකාරි වාදී ලෙස මුදාහරින තොරතුරු ප්‍රතිග්‍රහණය කරගත් ජනතාවක් සිටි අතර, නූතන සමාජය තුල තොරතුරු නිපදවීම බෙදාහැරිම, විචාරය කියන සකලවිද කාරයන්හි වැඩි බලයක් තොරතුරු පරිහරණය කරන පොදු ජනතාවට ලැබෙමින් පවතිනවා.

මෙම නව නිදහස තුල පොදු ජනතාව ඉතාමත් වේගයෙන් සාම්ප්‍රදායක විද්‍යුත් මාධ්‍යන්ගෙන් (පුවත් පත්, ගුවන් විදුලිය සහ රූපවාහිනිය) ඉවත් වෙමින් තමන්ට වැඩි බලයක් ලැබී ඇති අන්තර්ජාල මාධ්‍ය ප්‍රවේශයකට යොමුවෙමින් පවතිනවා.

මෙම නව ද්විත්ව සන්නිවේදන මාධ්‍ය රටාව තුල මෙතෙක් එක දිශාවකට සිදුකල තොරතුරු සන්නිවේදනය හරහා ජනතාව ඇන්ඳීමෙන් ගොඩනගාගත් දේශපාලන සහ වියාපාරික අධිකාරිත්වයන් දැඩි ලෙස අභියෝගයට ලක්වෙමින් පවති. එමෙන්ම වඩාත් ජනතාවාදී දේශපාලන සහ සමාජීය ව්‍යපාරයන්ටත්,  හුදු ප්‍රචාරණය වෙනුවට ගුණාත්මක නිෂ්පාදන සහ සේවා මත පදනම් වූ වාණිජ ආයතන වලටත් මතුවීමට වැඩි අවස්ථාවක් උදාවෙමින් පවතී.

ආශ්‍රිත:
- http://en.wikipedia.org/wiki/Web_2.0
- http://en.wikipedia.org/wiki/Semantic_Web

Bookmark and Share Related Posts with Thumbnails

0 comments:

 
 
 

අද දෙරණ

lankadeepa.lk

defence.lk