සූදුව ශෝක් කියන අම්බරුවන් ඇමතියන් වූ රටේ අධ්‍යාපනය

24 October, 2013

අපි සාමාන්‍ය පෙළ ගණිතය ඉගෙන ගන්න සමයේ අපගේ ගණිත ගුරුවරයා සම්භාවිතාව පාඩමට ලබා දුන් එක ගැටලුවක් වුවේ එවකට පැවතී සියලුම සතිපතා දිනුම් අදින ලොතරැයි අතරින් (එවකට තිබුනේ සැබවින්ම ශනිදාට පමණක් දිනුම් අදින ශනිදා වාසනාව සහ මහජන සම්පත ලොතරැයි පමණි) තමන් යොදන මුදලට සාපේක්ෂව ජයග්‍රාහකයකු වීමට වැඩිම සම්භාවිතාවක් ඇති ලොතරැයියත් රජයට එක එක ලොතරයි වර්ගවලින් ලැබෙන ලාභ ප්‍රතිශතයනුත් (මිලදී ගන්නන්නට වන පාඩු ප්‍රතිශතය) ගණනය කිරීමයි.

එදා සම්භාවිතාවේ උගත් සරල නියමයන් යොදාගෙන අපි එක එක ලොතරයියට මෙම අගයන් ගනනය කලේ එහි ඇති ප්‍රායෝගික වටිනාකම හේතුවෙන් දැඩි උනන්දුවකිනි. ගණනය කිරීම් අවසානයේ ලැබුණු අගයන් සමග අපි බහුතරයකට සදාකාලිකවම ලොතරැයි ගැනීමේ ආශාව නැතිව ගියේය. (ජනතාව වැඩි වැඩියෙන් ගොනාට ඇන්ඳීම සදහා දිනුම් ලබාදෙන ක්‍රමයන් වැඩි වශයෙන් ව්‍යාකූල කර ඇතත් වර්තමාන ලොතරැයි වලටද මෙම ගණනය කිරීම සිදු කිරීම අසීරු කරුණක් නොවේ.)

නමුත් අද තත්වය වෙනස්ය. අද සාමාන්‍ය පෙළ ගණිතය හදාරන සිසුන්ට මෙවැනි සමාජය සහ වෙළද යාන්ත්‍රණයන් ක්‍රියාත්මකවන ආකාරය තේරුම් ගැනීමට උදවු වන ප්‍රායෝගික ගැටළු විසදීමට යොමු කෙරෙන්නේද යන්න ඉතාමත් සැක සහිතයි. උසස් ගණිතය හැදෑරීමට පැමිණෙන බහුතරයක් වන සිසුන් අතරින් විභාග වල ලැබෙන ගැටුලු හුදු යාන්ත්‍රිකව විසදනු විනා සම්භාවිතාව වැනි විෂයන්හි මූලික සංකල්ප ගැන පවා ආත්ම විශ්වාශයකින් පිළිතුරක් දිය හැක්කේ අතලොස්සකට පමණක් වීම සමාජ අර්බුදයක පැති කඩකි.

විභාග කේන්ද්‍රීය ගිරාපෝතක අධ්‍යාපනය තුල කාලයක් තිස්සේ නිරතවීම තුල මෙය අරුමයක් ද නොවේ. අනිත් අතට ගණිතය වැනි විෂයන් හුදෙක් සෛන්ධාතිකව ඉතා කටෝර පාරිභාෂික වචන මාලාවක් සමග යොමුවීම තුල සිසුන්ට ගණිතය ඉතා නිසරු දුරස්ථ විෂයක් බවට පත්ව ඇත. එක උදාහරණයක් ගතහොත් සාමාන්‍ය පෙල සම්භාවිතාවෙහි ඉතාමත් මූලිකම සංකල්ප දෙකක් වන "අන්යෝන්‍ය වශයෙන් බහිෂ්කාර සිද්දීන් (mutually exclusive events)" සහ "ස්වායත්ත සිද්දීන් (independent events)" යන දෙකෙහි වෙනස නිවැරදිව පැහැදිලි කල හැකි සාමාන්‍ය පෙළ සමත් සිසුවකු හමුවන්නේ ඉතාමත් කලාතුරකිනි. බොහෝ ගණිත සංකල්ප සදහා මෙලෝ තේරුමක් නැති මහප්‍රාණ පාරිභාෂික වචන තැනු වාග් විශාරධයන්ද මේවායෙහි පවට කරගැසිය යුතුයි. සිසුන්ට ගණිතය ඉගැන්විය යුත්තේ සමාජය තුල ඒවා යොදාගෙන බුද්ධිමත්ව ජීවත්වීමට මිස ඒ තුල ඇති වචන හරබ තුල අතරමන් කිරීමට හෝ හිස ගිනිගත්තවුන් ලෙස විභාග බලුපොර තරගයට දුවවන්නට නොවේ. නමුත් අවාසනාවකට සිදුව ඇත්තේද එයමයි.

මෙවැනි සමාජයක උසස් අධ්‍යාපන ඇමති වරයා "මමත් ඒ කාලේ කැසිනෝ ගැහුවා, ඒක ශෝයි" කියා  සූදු වලට ආවැඩ්ම සාමාන්‍ය දෙයකි. දූෂිත තක්කඩින් මිස තම දහඩිය මහන්සියෙන් නිවැරදි ක්‍රම වලට උපයන මිනිසුන් ලෙහෙසියෙන් සූදුවට යන්නේ නැති බවත් අපි දන්නා බව මෙම තක්කඩි ඇමතියන් දැන ගත යුතුය.

සමාජයේ අම්බරුවන් බහුල වූ කල ඔවුන් දෙන දෙයක් කා උම්බෑ කියනු මිස පාලකයන් ගේ ක්‍රියාකලාපයන් ප්‍රශ්න නොකරනු ඇති බව පාලකයන් සිතනවා විය හැකිය. මේ රට අධ්‍යාපනයේ ආශ්චර්යක් කරනවායි වසර ගානක් ලෝකෙට පරකාස කියූ අම්බරු ඇමති මණ්ඩලය අවසානයේ වහල් සමුළුවට එන රැජිනගේ පුතා ලවා  විජාතිය අධ්‍යාපනය මෙරට තුල පවුම්වලට විකුනන අධ්‍යාපන කලාප පිහිටුවා අපේ අහිංසක මවුවරුන් සහ සොයුරියන් මැද පෙරදිග ලේ දහදිය වගුරා එවන විදේශ විනිමය නැවත පිටරටටම යැවීමටත් අනෙක් පැත්තෙන් ජේමිස් පැකර් නම් හම්පඩ සූදු අන්තුවෙකු (සූදු අන්තුවකු යනු සූදු කරවා ලාභ ගන්නෙකු මිස සූදුවට ගොස් විනාශවන මි හරකකු නොවේ) ගෙන්වා ගෙන රට සූදුවෙන් ආශ්චර්ය කර ගෙනයන බවටත් ජන මාධ්‍ය හමුවේ හෙළුවෙන් දොඩවයි.

 දීර්ග කාලීනව සමාජයෙන් සියලු ආකාරයේ සූදු ඇතුළු රැවටීම් මර්දනය කළහැකි හොදම ක්‍රමය ජනතාව බුද්ධියෙන් සන්නද්ද කිරීමයි.

Bookmark and Share Related Posts with Thumbnails

0 comments:

 
 
 

අද දෙරණ

lankadeepa.lk

defence.lk