අපි (නො)දන්න ප්‍රජාතන්ත්‍රවාදය

25 October, 2013

වෙන රටවල මිනිස්සු චන්දෙ දවසට බුද්ධිමත්ව තමන් කැමති ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න පෞර්ෂයක් තියෙන දේශපාලන නායකයන් පත් කරව ගන්නවා. එදා ඉදල දේශපාලන නායකයන් ක්‍රියාත්මක වෙනවා ජනතාව තමන්ගේ ජීවිත සැහැල්ලුවෙන් ගෙවනවා.

අපේ රටේ ඉන්න බහුතරයක් වන අම්බරුවන් චන්දෙ කාලේදී රැවටිලා නළු නිලියෝ, කුඩු මුදලාලිලා, දේශපාලන කපටියෝ, දේශපාලන විකටයයෝ, නැතිනම් දේශපාලන තොරොම්බල් කාරයෝ තමන්ගේ නියෝජිතයෝ විදියට පත්කරවල ඊලග චන්දෙ වෙනකන් තමන් පත් කරපු අයටම බැන බැන දවස් තුන්සිය හැට පහෙම පෙළපාලි, රථ පාලි ඇතුළු දහඅට පාලිම නටනවා.


කපටි පාලකයෝ බොරු කියල බලයට පත් වුනාම පොරුන්දු වෙච්ච ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරනවා වෙනුවට බොහෝ විට කරන්නේ ජනතාව ගොනාට ඇන්ඳීම. ඊට පස්සේ අපිට මෙව්වා ක්‍රියාත්මක කරන්න නම් බැරි අර බලපෑම් මේ බලපෑම් නිසා කියල ඇග බේරාගන්නවා. නමුත් ඇත්ත කතාව වෙන්නේ සදාකාලිකව බලයේ ඉන්න සිහින මවමින් බෝල පාස්කරමින් හැම දෙයකදීම කල් මැරීම. ඊට පස්සේ රහසින් එක එක සංවිධාන හදල එව්වට තමාට ඕන විදියට නටවන්න පුළුවන් විවිද දුර්වලතා ඇති පැරෂුට් චරිත බස්සල ජනමත හදන්න කියල ජනතාව පාරට බස්සනවා.

ප්‍රජාතන්ත්‍රවාදී රටක ජනමතය හදන්න දවස් තුන්සිය හැට පහේම මිනිස්සු පාරට බහින්න ඕන නැහැ. ජන මතය කියන්නේ චන්ද ප්‍රතිපලය මිසක් වෙන මොකවත් නෙමෙයි. ඒ නිසා මිනිස්සු ඔක්කොම පාරට බැහැල නිවැරදි දේ කරන්න ඕන චන්දෙ දවසේදී. එදා ඉදල රටේ දේශපාලනිකව විසදිය යුතු දේ විසදන එක තමන් පත් කරපු දේශපාලන නායකත්වයේ වගකීමක් වෙනවා. නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ ඕකට තමයි. පාලකයාට තමන්ට චන්දය දුන්න බහුතරයගේ අපේක්ෂාවන් සහ බලාපොරොත්තු  ඉටු කරන්න බැරිනම් ඔහු එක්කෝ දුර්වලයෙක්, නැතිනම් කපටියෙක්.

ප්‍රජාතන්ත්‍රවාදය පවතින රටක ජනතාවට වැදගත්ම දිනය වන්නේ මැතිවරණ දිනය. ඒක එක්තරා විදියකට රටේ ජනතාව විභාගයකට මුහුණ දෙනවා වගේ දෙයක්. වෙනසකට තියෙන්නේ සාමාන්‍ය සාමාන්‍ය විභාගයකදී තනි තනිව ප්‍රතිපල ලැබෙන අතර පුද්ගලිකව තමන් එහි ප්‍රතිලාභ ලබනවා. නමුත් මැතිවරණයක් කියන්නේ සමාජයක් නැතිනම් ජාතියක් විදියට සාමූහිකව මුහුණ දෙන විභාගයක්. එයින් අපිට ලැබෙන්නේ සාමූහික එක ප්‍රතිපලයක්. සමාජයක් විදියට අපි හැමෝටම එම සාමූහික ප්‍රතිපලය බුක්ති විදින්න වෙනවා.

දවස් තුන්සිය හැට පහේම දේශපාලනය ගැන තප්පු ලෑවත්, බහුතර ජනතාව බුද්ධිමත් නැතිනම් චන්දෙදි වැරදි උත්තර සලකුණු කරහම එකේදී ජනතාව අසමත් වෙනවා. අපි විභාගයකට යන්න කලින් සූදානම් වෙනවා වගේම චන්දෙකට කලිනුත් සාමූහිකව එයට සූදානම් වෙන්න ඕන.නමුත් ලංකාවේ තියෙන සූප්පුවෙන් කිරිපොවන අධ්‍යාපනයට ඇබ්බැහි උන බබ්බු මෙතැනදී කරන්නේ බුද්ධියෙන් තමන්ගේ ගෙදර වැඩ හරියට කරන්නේ නැතිව පසුගිය විභාග වලදී හැමදාමත් තමන්ව රවටපු උදවියගේ කටවල් දිහා බලාගෙන ඉදල එව්වට හුරේ දමල විභාගේ අසමත් වෙන එක. ඕක අසමත් උනාට පස්සේ එදා ඉදල ඊලග චන්දෙ වෙනකන්ම හැමදාම දෙස්දෙවොල් දෙන එකෙයි ශාප කරන එකෙයි ඇති වැඩක් නැහැ. යකාගේ හැටියටලු විමානේ.  මෙරට පාර්ලිමේන්තුව කියන්නේ අගහරු ලෝකයෙන් ආපු අය ඉන්න තැනක් නොවෙයි. මේ රටේ ජනතාවගේ චන්දයෙන් පතුවුන ය සිටින එම ජනතාවගේ සිතුම් පැතුම් වල කැඩ පතක් !!

මෙයින් අදහස් කරන්නේ නැහැ චන්දෙන් පස්සේ ජනතාව නිෂ්ක්‍රිය විය යුතුයි කියල.නමුත් පාලකයන් කල යුතු දේශපාලනික තීන්දු ක්‍රියාත්මක කරවීම් සහ ජනතාවගේ වගකීම් කියන දෙක පටලවගන්න ගියොත් වෙන්නේ රට අරාජික වෙන එකයි.

දීර්ග කාලයක් වැඩවසම් ක්‍රමයකටත් පසුව යටත් විජිත වහල් මානසිකත්වයකටත් උරුම මේ රටේ මිනිස්සුන්ට ප්‍රජාතන්ත්‍රවාදය හරියට තේරුම්ගන්න තව කොච්චර කල් යාවිද කියල හිතාගන්නවත් බැහැ.

Bookmark and Share Related Posts with Thumbnails

0 comments:

 
 
 

අද දෙරණ

lankadeepa.lk

defence.lk