බහුතරය නූතනත්වයේ boring සිරකරුවන් නොවී තෘප්තිමත් කෘෂි ආර්ථිකය නැවත ගොඩ නගමු

18 October, 2013

අතීතයේ ඉදල අපේ රටවල තිබුනේ මිශ්‍ර වගා ක්‍රමයක්. එකත් පරිසරය සමග සහජීවනයෙන් තමන්ට අවශ්‍ය ප්‍රමාණයට. නමුත් දැන් අපේ අවශ්‍යතා වැඩිවෙලා නිසා කෘෂිකර්මාන්තයෙනුත් වැඩි ආදායමක් ලබන්න සැවොම උත්සහ ගන්නවා. එතැනදී බටහිර ක්‍රමය වුනේ මහපරිමාණ  ඒකාංගි භෝග වගාව. කෘමිනාශක සහ අධික රසායනික පොහොර භාවිතය බටහිර ක්‍රමයේදී අත්‍යාවශ්‍ය දෙයක් වෙලා. නූතන කෘෂි කර්මාන්තයේදී හුදෙක් ලැබෙන ලාභය මිසක්,  යෙදෙන පුද්ගලයා තමන් නියැලෙන කාර්ය තුලින් ආත්ම තෘප්තියක් ලබනවද කියන එක ඉතාමත් සැක සහිතයි.

කාර්මීකරණයේ සම්පූර්ණ නිෂ්පාදන ක්‍රියාවලියක යෙදුන තෘප්තිමත් ශිල්පියා (craftsman) වෙනුවට කර්මාන්තශාලාවක ශ්‍රම විභජනයේ හුදෙක් එක පුරුකක් ලෙස දැඩි ඒකාකාරී සහ අසහනකාරී ජීවන රටාවකට හුරු කල ශ්‍රමිකයකු බිහි කිරීම සහ නූතන කෘෂිකාර්මිකයාගේ ජීවන රටාව බොහෝ දුරට සමාපාතයි. බටහිර ධනවාදී අර්ථ ක්‍රමය (capitalism) ඉලක්ක ගතවී ඇත්තේ  ධනය ආයෝජනය කරන්නන්ට ලැබෙන ලාභය පිලිබදව මිස නිෂ්පාදන ක්‍රියාවලියේ යෙදෙන බහුතරයගේ ජීවන තෘප්තිය ගැන නොවෙයි.

පරිසරය සමග සහජීවනයෙන් සැහැල්ලු දිවිපෙවෙතකට අනාදිමත් කාලයක සිට යොමුවී සිටි ශ්‍රී ලාංකිකයන් සාමාන්යෙන් කර්මාන්ත ශාලාවල වැඩ කිරීමට අකමැතියි. ඒ නිසයි ඔවුන් බොහෝ විට සේවා අංශයේ රැකියාවලට යොමුවෙන්නේ. නමුත් එතනදිත් ඔවුන්ගෙන් බහුතරයක් නොදැනිම කාර්යාල මේසයකට හෝ කවුන්ටරයක පැය අටේ හිරකරුවන් වෙනවා.

ඒකාංගි කරණය වූ කෘෂිකර්මාන්තය කෙරෙහිත් ශ්‍රී ලාංකිකයන්ගේ එතරම් ආකර්ෂණයක් නැති බව පැහැදිලියි. එක යායක කරන විශාල වී වගාවක් හෝ කෙසෙල් වගාවක් වගේ දෙයක් ගැන තරුණයන් යම් උදාසීන ආකල්පයක් දැක්වීම එක්තරා දුරකට සාධාරණයි. ධනවාදය සහ නූතනත්වය මෙරට තුල කෘතිමව පැලකිරීමට උත්සහ කල දේශපාලුවන් සහ සුද්දන් විසින් දේශපාලන සහ ආර්ථික බලය පවරා ගිය කොලබ කොම්ප්‍රදෝරු පැලැන්තිය කෘෂිකර්මාන්තය ලෙස හුදු වී වගාවත්, මිරිස් අල ලුණු වැනි වගාවන් කිහිපයකුත් පමණක් දුටු අතර කෘෂි කර්මාන්තය නූගත් වැඩිහිටියන්ගේ කදුළු බිදුවක් ලෙස සමාජ ගත කලා. මෙම ප්‍රතිරූපය නිවැරදි කර උගත් හැකියාවන්ගෙන් පරිපූර්ණ තරුණයන් නැවත කෘෂි කර්මාන්තයට ආකර්ෂණය කර ගැනීම සදහා විදිමත් ප්‍රතිපත්තියක් තිබිය යුතුයි.

විශේෂයෙන්ම නිර්මාණශීලි පුද්ගලයන් එකාන්ගිකරණයට කැමැත්තක් දක්වන්නේ නැහැ. ඔවුන් බොහෝ විට සේවා අංශයේ රකියා සදහා කොලබට හෝ බටහිර රටවලට සංක්‍රමණය වීමේ විශාල ප්‍රවනතාවයක් තියෙනවා. නමුත් සබැ ජීවන තෘප්තිය එතුලින් ඔවුන්ට ලැබෙනවද කියල ඔවුන් අතරම දැන් සංවාදයක් ගොඩනැගෙමින් පවතිනවා. සේවා අංශය තුලත් බහුතරයක් ඇත්තේ ඒකාකාරී රැකියාවන්ම බව ඔවුන්ට තේරුම් ගන්න කාලයක් යනවා. අනෙක් අතට සියල්ලන්ම සේවා අංශයට යොමුවීම තුල අද එතුල දැඩි තරගකාරිත්වයකුත් වේතනයන්හි පහල යාම්කුත් ඇතිවෙමින් පවතිනවා. විශේෂයෙන්ම ඇමෙරිකාවේ සහ යුරෝපයේ දශකයක සිට පවත්නා උග්‍ර ආර්ථික සහ රැකියා අර්බුධය අද නොවිසෙදෙන දෙයක් බවට පත්වෙමින් පවතිනවා.

ගමේ සැලකිය යුතු ඉඩකඩම් ඇති ඇතැම් තරුණයන් ඒවා දියුණු කරගැනීම ඉවතලා කොලබ බොර්ඩින් වෙලා ගෙවන කටුක දිවිය ගැන විටෙක පුදුමත් හිතෙනවා. නිදහස සහ සේවා අංශයේ විවිධාන්ගිකරණය කියල හිතාගෙන ඔවුනුත් බොහෝ විට කාර්යාලයක හෝ සේවාස්තානයක කවුන්ටරයක හෝ cubicle එකක දවස පුර හිර කරුවන් විදියට ජීවත් වෙනවා. නමුත් ධනවාදී ක්‍රමය පවත්වාගැනීමට අවශ්‍ය බලය හිමි පැලැන්තිය ඔවුන්ට එහි යතාර්ථය නොදකින විදියට නූතනත්වය තුල මෙම සිරකාරිත්වයට ව්‍යාජ අගයකිරීම් ලබා දීල තියෙනවා.

අප දැන් සිටින්නේ කාර්මිකරණ යුගයේ (Industrial Era) නොව තොරතුරු සහ දැනුම යුගයක (Knowledge Era) බව තේරුම්ගත යුතුයි. කාර්මිකරණ යුගයේ සාම්ප්‍රදායිකව තිබු ගම සහ නගරය අතර පරතරය දැන් වේගයෙන් ඉවත්ව යනවා. අධිවේගී මහාමාර්ග ගොඩනැගීම තුල කොලබට ඉතා සුළු කාලයකින් ලගා විය හැකයි පමණක් නොව විදුලිය සහ අනිත් සන්නිවේදන පහසුකම් මුළු රටටම එකවිට ලැබෙන ප්‍රවනතාවයකට අපි මාරුවෙමින් පවතිනවා. අනික නිවැරදිව කළමනාකරණය කල කෘෂිකර්මාතහි යෙදෙන කෙනෙක්ට තමන් කැමති අනෙකුත් තාක්ෂණික හෝ ශිල්පිය ක්ෂේත්‍රයන්හි අර්ධකාලීනව හෝ යෙදෙන්න නිදහසක් ලැබෙනවා. පැය අට හෝ ඊටත් වැඩි කාලයකට සහ ඉතා සීමිත නිවාඩු දින ගනකට බැදුන ජීවිතයක (ඉහල තනතුරු දරන වුර්තිකයන් සීමිත පිරිසකට හැර පුද්ගලික අංශයේ බහුතරයකට මෙම යතාර්ථය මුහුණ දෙන්න වෙනවා) සැබෑ යතාර්ථය තෙරුම් ගන්න විට ඔබ ඇතැම් විට පරක්කු වැඩි විය හැකියි.

අපි නැවතත් නව මුහුණුවරකින් කෘෂිකර්මාන්තය දියුණු කිරීමට දැන් කාලය එලබ තියෙනවා. එතුල තාක්ෂණික නව්‍යකරණය සහ පලදායිතාව සමගම සෞන්දර්යත්මක සහ සංස්කෘතික ලක්ෂණයන් නිවැරදිව මුහු කිරීමත් අත්‍යවශ්‍යයි. අපි ලංකාවේ දියුණු කෘෂි සංස්කෘතිය ගොඩනැගීමට නම් සමූහ භෝග වගාව වැඩියෙන් ප්‍රචලිත කල යුතුයි. පටක රෝපණය, සුදුසු ලෙස හරිතාගාර භාවිතය වැනි දේ තුලින් ආර්ථික වසයෙන් සාර්ථක කල හැකියි. එමෙන්ම වැඩි ආදායමක් ලබා ගත හැකි ගම්මිරිස්, කොකෝවා වැනි සුළු අපනයන භෝග වගේම සාපේක්ෂව අඩු සැලකිල්ලක් ඇති රබුටන්, අබ, අලිගැට පෙර වගේ විවිධාංගි කරන භෝගයන් වගාව තුල තෘප්තිමත් කෘෂි වුර්තිකයකු බිහිකර ගත හැකයි. කෘෂි සහ පාරිසරික සංචාරක කර්මාන්තය වැනි නව මන් පෙත් විවර කර ගත හැක්කේ මෙවැනි පරිසරයක් තුළිනුයි.

අපේ පරිසර තත්වයන් ඉතාමත් ලාභදායි ආර්ථිකමය වසයෙන් ශක්තිමත් කෘෂිකර්මාන්තයක නියැලීමට ඉතාමත් යෝග්‍යයි. අනෙක් අතට කාර්මීකරණයට වඩා කෘෂිකර්මාන්තය අප තුල ජානගතව පවතිනවා. හුදු ඒකාකාරී වගාවක් වෙනුවට කෘෂිකර්මය තුල ඇති නිදහස සහ ස්වභාව සෞන්දර්ය සමග ඒකාත්මික වීමට ඇති හැකියාව නැවත මතුකරගෙන ඊට අනුබල දෙන යාන්ත්‍රණයක් ගොඩ නැගුවහොත් මේ රටතුල නැවත දියුණු කෘෂි ආර්ථිකයක් සහ සංස්කෘතියක් ගොඩනැගීමට අපිට හැකි වේවි. මේ සදහා බටහිර නූතනත්වයේ ව්‍යාජයන් මෙන්ම ජාතිකත්වයේ නාමයෙන් හුදු දේශපාලනික පල ප්‍රයෝජන සදහා අන්තවාදීව වපුරන බොරු මාන්නය සහ කුහක කම ඉවතලා පෙරදිග වේවා, බටහිර වේවා සියලු යහපත් දේ එකතු කරගැනීමට අපි යොමු විය යුතුයි.

Bookmark and Share Related Posts with Thumbnails

0 comments:

 
 
 

අද දෙරණ

lankadeepa.lk

defence.lk