අම්බරුවන්ගේ දේශයෙන් ඔබ්බට.......

24 March, 2014

අපේ රටේ තරම් බුද්ධිමත් කියාගන්න අම්බරුවෝ බහුතරයක් ඉන්න රටක් ලෝකේ කොහෙවත් නැහැ. උදේට ලෝකෙට පරකාසෙට ලොකු ජාතික පාසල්වලට යන ශිෂ්‍යා ආයෙත් ඉස්කෝලේ ඇරිච්ච ගමන් ටියුෂන්  පන්තියට යනවා ඉගෙන ගන්න කියල. ලාංකිකයන්ගේ ලමා කාලය ගෙවෙන්නේ උදේ ටයි හවසටයි දෙපාරක් එකම දෙය කරන්න. එකම දේ දෙපාරක් කරන්න පොඩිකාලේ උගන්වන්නේ මේ ව්‍යාජය මත පදනම් වුන අධ්‍යාපනය නෙමෙයිද? ලෝකේ අනිත් රටවලත් හැම දේම දෙපාරක් උගන්වනවාද? විසුලුම වැඩේ කියන්නේ සමහර විට පාසලේ විෂය උගන්වන ගුරුවරයම හවසට තමන්ගේ ටියුෂන් පන්තියට තමන්ගේ පන්තියේම ළමයි ගෙන්වා ගැනීම.

සුපිරි ඉස්කෝලවලට දාන්න ඕන උනාම පොඩි එකාට ඉස්සෙල්ලම බොරු කියන්න උගන්නන්නේ බුදුහාමුදුරුවෝ පළමු ගුරුවරයා කියල හදුන්වපු අම්ම ම තමයි. එහෙම පොඩි එකා ලව්වා කප්පරක් බොරු කියවල 'සුපිරි' ඉස්කෝලෙකට දාගෙන ඉවර වෙලා ලෝකේ කාල හරි තමන්ට සලකන "හොද පුරවැසියෙක්" බලාපොරෝතු වෙනවා. එහෙමනම් ඉතින් ගලකින් පට්ටා ගන්නත් පුළුවන් වේවි.

"බොරු" කියන එක මේ ව්‍යාජ සමාජයේ අද සාමාන්‍ය කරණය කරල තියෙන්නේ. කාටවත් ඒක වැරදියි කියල කිසිම හැගීමක් නැහැ. මොකද බොරුවෙන් සල්ලි හම්බ හම්බ කරලා දේශපාලන බලය ගත්ත පැලැන්තිය සමාජය හිරිවට්ටල තියෙන්නේ. බොරුවට දඩුවම් කලොත් මේ වවාගෙන කෑම් සියල්ල බිද වැටෙන බව කාටත් වැඩිය ඒ අයම දන්නවා.

ඔය නගරවල තියෙන අති බහුතරයක් පාසල් වලට ජරාව දීල ළමයි දාගන්න පුළුවන් කියල පොලවේ පය ගහල ඉන්න අපි කවුරුත් දන්නවනෙ. කාට හරි කියන්න පුලුවන්ද කොලබ තියෙන එක පාසලක නමක් ඔකට නම් හරි ක්‍රමයට මිසක් ජරාව දීල කොහෙත්ම ළමයෙක්ව දාගන්න බැහ කියල. එහෙම එකක් තියෙනවනම් අන්න එකේ වැදගත් විදුහල්පති වරයෙක් ඉන්නවා. එහෙම නොවෙන බවට අපිට හැගෙන හැම පාසලකම ඉන්නේ ජරා පප්පෙක් තමයි විදුහල්පති විදියට. එකනේ කොල්ලෝ එවැනි හදුනාගත්ත චරිත වලට "පිනා" කියල කියන්නේ. තමන් ජරාව කන දූෂිතයෙක් නම්, එහෙමත් නැත්නම් තම ආයතනයේ යහ පැවැත්ම තමාට රැකගන්න බැරිනම් ඔහු ව හදුනන්න ඊට වැඩිය හොද නමක් තියේද? තමයි. තමන්ගේ පාසලේ දරුවන්ට විනය ඇති කරන්න හෝ යහමග යන්න කියල දෙන්න කලින් තමගේ  දූෂණයට යට නොවන කෙනෙක් වෙලා ඉන්න ඕනනේ. මෙවැනි දූෂණය රජවුන අධ්‍යාපන පද්දතියකින්ද රටට ද හොද පුරවැසියන් බිහිකරගන්න බලාපොරොත්තු වෙන්නේ?

රාජ්‍ය ආයතනයකට ගියාම හැට වතාවක් මිනිස්සුන්ව රස්තියාදු කරවනවා. මොකද වැඩේ ලෙහෙසියට නොකෙරෙන පැත්ත පෙන්නුවේ නැත්නම් එවුන්ට ජරාව කන්න බැහැනෙ. අසුචි වලින් හැදුන පද්දතියක ඉන්න එවුන්ට මාසේ අගට හම්බවෙන පඩියට වැඩිය මේ ජරාව තමයි රස.

දැන් ඉතින් කියාගෙන එන්න එපා මෙව්වා පද්ධතියේ වැරදි අපිත් අසරණයි කියල. මේ රටේ නිවැරදි විදියට ලෝකෙට බරක් නැතිව ජීවත් වෙන්න ඕන තරම් ක්‍රම තියෙනවා. දුෂ්කර උනත් එහෙම මිනිස්සු තමයි උතුම් මිනිස්සු කියන්නේ. ඔය ජරාජීර්ණ පද්දතියෙන්ම හම්බු කරගෙන රටේ හරක් ව රවටගෙන බලයෙන් මත්වෙලා ඉන්න දේශපාලකයන්ට පක්කිලිකම් කරලා පත්වීම් අරගෙන එදා ඉදන් ජරාව කකා සියලු උපහාර ලබන ඒ මට්ටමට වැටෙන රජයේ සේවකයෙක්ට වැඩිය තමන්ගේ දෙමවුපියන්ව තමන්ගේ දාඩිය මහන්සියෙන් නඩත්තුකරන්න වෙළද කලාපේ ජුකී මැෂිමක් ක්‍රියාකරවන කෙල්ලෙක් කොච්චර වැදගත් විදියට ජීවත් වෙනවද?

රටේ අල්ලස දූෂණය නැති කරවනවා කියල මේ රටේ කපටි දේශපාලුවෝ තව අවුරුදු කීයක් රටේ අම්බරුවන්ව රවටයි ද? ඉස්සෙල්ලම ඕක පටන් ගන්න ඕන නිතිය සහ සාමය රකින්න තියෙන පොලිසියෙන් නෙමෙයිද. මහ දවල් පවා ඕන වෙලාවක පාරක තොටකදී මිනිස්සු පොලිස් කාරයන්ට ප්‍රසිද්දියේ අල්ලස් දෙන්නේ නැත්ද? වැටත් නියරටත් ගොයම් කන්න දෙන මෙම පද්ධති වලින් ද මිනිස්සු සමාජ සාධාරණත්වයක් බලා පොරෝත්තු වෙන්නේ? අද රටේ දේශපාලකයන්ගෙන් බහුතරය මෙම දූෂිත පද්දති වලින් සල්ලි හම්බකරගෙන එව්වා මිනිස්සුන්ව ගොනාට අන්දන්න ආයෝජනය කරපු කපටි නෙමෙයිද?

එකම තැනකින් ගගක් හරහා දෙපැත්තේ ඉදල පාලම 'දෙකක්' හදන්න පටන්ගන්න උනත් මේ රටේ ඉන්න බුද්ධිමත් කියාගන්න අම්බරුවෝ මැලි වෙන්නේ නැහැ. මොකද උන්ට වැදගත් අවශ්‍යතාව නෙමයි පවතින ක්‍රමයෙන් යැපෙන්න.

හැමදාමත් පක්ෂ පාට ජාති විදියට බෙදිලා කපටි දේශපාලුවන් සහ උන්ගෙන් පඩි සහ වරදාන ගන්න මාධ්‍ය බැලයන් දෙන ලනු ගිල ගිල හැමදාමත් කටින් රට බේර ගන්න සටන් කරාම ඔක්කොම හරි යයි. මේ රටේ තව හිතන්න පුළුවන් කීදෙනෙක් ඉතුරු වේවිද කියන එකයි ප්‍රශ්නේ.  යතාර්ථය තේරුම් ගත්ත බහුතරය රට හැර යනකොට මේ රට තුල ඉන්න කපටින්ට තවත් බලය වැඩි වෙන එකයි වෙන්නේ. මොකද කපටින්ට නිකමුන්ට මේක සුර පුරක්. උන් එකෙක් වත් මේ රට දාල යන්න හිතන්නේ නැහැ.

ඒක නිසා යතාර්ථය දකින හිතන්න පුළුවන් මිනිස්සු රටින් පලායන එක මේකට විසදුමක් නෙමෙයි.  පවතින යතාර්ථය අමු සිංහලෙන් හෙළි කරලා මෙම දූෂිත පද්දතියෙන් බිහිවෙලා දේශපාලන බලය අල්ලාගෙන ඉන්න දේශපාලුවන්ගේ බොරු ඇන්දිලි සහ සංවාද වෙනුවට සැබෑ සංවාදය දැන්වත් පටන් ගන්න ඕන. ඒ වෙනුවෙන් වැඩකරන්න ඕන. එතකොට අඩුගානේ ජරාජීර්ණ අශුචි ගොඩේ පණුවෙක් වගේ ජරාව කකා ඉන්නේ නැතිව, හෝ වැරැද්ද දැක දැක නිවට කමට අත් බැදගෙන ඉන්නේ නැතිව මමත් හරි දේ වෙනුවෙන් කළහැකි යමක් කලා කියලවත් පස්සේ දවසක සතුටු වෙන්න වත් පුළුවන් වේවි.

මේහේ පද්දති තියෙන්නේ තව දුරටත් එව්වා කාර්යක්ෂම කරමින් සහ දියුණු කරමින් මිනිස්සුන්ට වඩා හොද සේවයක් සලසමින් සමාජයක් විදියට ඉදිරියට යන්න නෙමෙයි. පද්ධතියේ ඉන්න නිකමුන්ගේ බඩ වඩා ගන්න. රටේ කරුමේ කියන්නේ රටේ ඉන්න බහුතරයක් වෙච්ච හරක්ට මෙව්වා තේරෙන්නේ නැති එක. නැත්නම් මෙහෙ ඉන්න අයගේ නිවට කමට මෙව්වා ගැන කට හොලන්න බයේ ඉන්න එක. සේක්කුවට තල  ඇට දමා ඇති තුරු අපි කෙතරම් පැතුවත් එයින් එන්නේ තල තෙල් ම පමණයි. වරින් වර සෙක්කුව කරකවන කෙප්ප වස්සන් හෝ වැස්සියන් වෙනස් කිරීමෙන්ද පලක් නොවේ. මෙයින් පොල් තෙල් ගන්න නම් කොප්පරා දැමිය යුතුයි... කාලෝ අයන්තේ...

Bookmark and Share Related Posts with Thumbnails

0 comments:

 
 
 

අද දෙරණ

lankadeepa.lk

defence.lk